හම්බන්තොට පොලිසියෙන් අතුරුදන්වූ බව කියන බඳගිරියේ ජී.ජී.ගයාෂාන් (22) දික්වැල්ලේ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් කොළඹ පොලිස් මූලස්ථානයට ගෙන එනු ලැබූහ.
ඔහුගේ මවද විහාරයට පැමිණ සිටියාය. එම තරුණයා දික්වැල්ල දීඝවාළුකාරාම රජමහා විහාරයේ අඹකොළවැව බුද්ධික හිමියන් හමුවට අද උදේ පැමිණි බව ඒ හිමියෝ පැවසූහ.
ඒ හිමියන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාට ඒ බව දන්වා කොළඹ වැඩම කළ බවත් පොලිසිය කියයි. එම තරුණයා හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිසිය විසින් රැගෙන යනු ලැබීය.
මෙම තරුණයා පසුගිය 5 වැනිදා හම්බන්තොට පොලිසියට රැගෙන ආ පසු අතුරුදන් වී යැයි කියති. ඔහු සමග තවත් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතත් පොලිසිය ඒ බව සටහන් කර නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි. මේ සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසියේ සිව් දෙනකුගේ වැඩ තහනම් කර ඇත.